අනෙකුත් සේවාවන්


ආධ්‍යාත්මික සංවර්ධන චාරිකා පැවැත්වීම

ශී‍්‍ර සිද්ධාර්ථ පදනමේ  ආධ්‍යාත්මික සංවර්ධන වැඩ සටහන් යටතේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ පූජනීය ස්ථාන ලෙස සැලකෙන මහනුවර දළඳා මාලිගය, අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය රුවන්වැලි මහ සෑය ඇතුළු අනුරාධපුර, පොළොන්නරුව, කතරගම, මාලිගාවිල, තන්තිරිමලේ ආදී පූජනීය ස්ථාන ඇසුරු කරගෙන 1000 ක් පමණ උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් සිව් දින චාරිකා පැවැත්වීම. ප‍්‍රතිපත්ති පූජාව මූලික කරගත් මෙම ශීල භාවනා වැඩ සටහන  සම්බුද්ධ පූජා බෝධි පූජා ධර්ම දේශනා,  ආදී ආමිස පූජා පිංකම් සහිතව පැවැත්වෙයි. 

ආපදා සහන සේවාවන් 

ලංකාවේ බොහෝ දුෂ්කර ගම්මාන වල ජනතාවට ජීවත්වීමට ඇති බාධක බොහෝය. යටිතල පහසුකම් නොමැතිකම. ස්වාභාවික විපත්, කාලගුණික පීඩා, වන අලි වැනි වනසතුන්ගේ තර්ජන ඉන් කිහිපයකි. මේ අතර ගංවතුර තර්ජන, නායයෑම්, ආදී විපත්වලට ද ජනතාව වරින්වර මුහුණපාති. එබඳු අවස්ථාවල ජනතාව අතරට ගොස් අවශ්‍ය සහන සැලසීම පදනමේ සිරිතය. පසුගිය යුද සමයේ වැලිඔය ප‍්‍රදේශයේ කෝන්කැටියාව, වාහල්කඩ කහටගොල්ලෑව, තම්මැන්නෑව, රුවන්පුර, මයිලන්කුලම,  කුඹුක්වැව, පදවිය, මහසෙන්පුර,  බිසෝ කොටුව ආදී ගම්මාන රැසකට යුද සමයේ මෙම සේවාවන් සැපයුනි. එසේම බදුල්ලේ කොහොනාවල, වැවතැන්න හා වැල්ලන්ද ගම්මාන, අනුරාධපුරය පදවි ශ‍්‍රි පුර හැලඹගස්වැව ගම්මානය, ආදී ගම්මාන එම සේවාව ලබාදුන් ගම්මාන අතරින් කීපයකි.

ජාතික හා ආගමික සහජීවනය ඇතිකිරීම

පසුගිය වසර 30ක කාලයක් ශ‍්‍රී ලංකාවේ සියලුම ජාතීන් අප‍්‍රමාණ දුක් පීඩාවන්ට මුහුණපෑවේ බිහිසුණු යුද්ධය නිසාවෙනි. යුද්ධයට එක හේතුවක් වූයේ ජාතීන් හා ආගම් අතර සහජීවනයක් නොතිබීමය. ශ‍්‍රී සිද්ධාර්ථ පදනම ජාතික හා ආගමික සංහිඳියාව ඇතිකිරීම සඳහා වැඩසටහන් ආරම්භ කර තිබේ. මඩකලපුව හා පුනානි ගම්මානයේ වාච්චේන මයිලන් කරච්චි ගම්මානයේ එබඳු සේවාවන් පැවැත්වූ අතර 2016 ද්‍රවඩ ජාතීනගේ වැදගත් උත්සවයක් වන තෛපොංගල් උත්සවයක් මන්නාරම මඩු පල්ලිය සමීපයෙහි පුලන්දාව ගම්මානයේ පදනම මගින් සංවිධානය කර සිංහල දෙමළ ඉස්ලාම් ජාතීන් මෙන්ම බෞද්ධ හින්දු ක‍්‍රිස්තියානි ආගමිකයින් එකතු කර ආගමික හා සංස්කෘතික වැඩසටහනක් පවත්වා පවුල් 200කට පමණ වියළි සලාක, ගෘහ උපකරණ, ඇඳුම් ආදිය පරිත්‍යාග කරන ලදි.

ශ‍්‍රි සිද්ධාර්ථ පදනම මෙතෙක් සිදු කළ විවිධ සමාජ සත්කාර 

  • පරිගණක ආයතනයක් පවත්වාගෙන යාම
  • වෛද්‍ය සායන පැවැත්වීම හා වෛද්‍ය ආධාර ලබා දිම
  • අවමංගල්‍ය ආධාර සැපයීම
  • ස්වයං රැකියා සඳහා ආධාර කිරීම
  • ගෙවතුවගා වැඩ සටහන් පැවැත්වීම
  • මං මාවත් තැනීම
  • යුධ සමයේ රණවිරුවන් සඳහා විවිධ සේවා සැපයීම
  • යුද්ධයෙන් හා ස්වාභාවික විපත්වලින් විපතට පත් වූවන්ට සුබසාධන සේවා පැවැත්වීම
  • සංස්කෘතික වැඩ සටහන් පැවැත්වීම